Son rescues Mom from Crocodile attack

කිඹුලාගේ කට දෙපැත්තට ඇද මවගේ ජීවිතය බේරාගත් වීර පුතෙක්!
Lanka Mini Gossip
නිවස පිටුපසින් පිහිටි කලාඔයේ නාන මංකඩ අසල ගොදුරක් පැමිණෙන තුරු සිටි මිනීකන කිඹුලෙකුට ගොදුරු වූ සිය මව කිඹුලා සමග සටන් කර බේරාගත් වීර පුත්‍රයෙකු පිළිබඳව පුවතක් අනුරාධපුර සේනපුර ප්‍රදේශයෙන් වාර්තා වේ. සිනමාපටවල මෙවැනි ත්‍රාස ජනක සිදුවීම් අප අන්තව දැක ඇතත් සිය ජීවිතයද නොතකා වැදූ මව බේරා ගැනීමට දැවැන්ත කිඹුලා සමග නිරායුධව සටන් කළ මෙම තරුණයා සැබෑ වීරයෙකි. තරුණයා හමුවී වීර වික්‍රමය පිළිබඳව තොරතුරු ලබා ගැනීමට එහි ගියත් දරුණු ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහ‍ලේ ප්‍රතිකාර ලබන මවගේ සුවදුක් බැලීම සඳහා ඔහු එහි ගොස් සිටි නිසා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. පසුගිය 25 වන සිකුරාදා සවස මෙම බිහිසුණු සිද්ධිය සිදුවී තිබේ. එදින සිදුවූ සිදුවීමෙන් බරපතළ ලෙස තුවාල ලබා ඇත්තේ තරුණයාගේ මව වන සේනපුර දික්ඔය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි තිදරු මවක් වන ශාන්ති ඒකනායක මහත්මියයි.
ඇය අඩි 15ක් පමණ දිගැති කිඹුලාට ගොදුරු වීමෙන් වම් පාදයට බරපතළ තුවාල සිදුවී ඇති අතර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් තිබේ. කිඹුල් ප්‍රහාරය හේතුවෙන් පාදයේ අස්ථි මතුවීම නිසා එම පාදය කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට සිදුවී ඇති බවට පවු‍ලේ ඥාතීන් පැවැසූහ.
වීර වික්‍රමය සිදුකළ ශාන්ති ඒකනායක මහත්මියගේ 19 හැවිරිදි රොමේෂ් මධුවන්ත තරුණයා සම්බන්ධයෙන් ඔහුගේ නැන්දා වන 43 හැවිරිදි දෙදරු මවක් වන ඒ සිරියලතා මහත්මිය මෙසේ පැවැසුවාය. “අක්කාගේ (නෑනා) නිවස පිටුපස කලා වැවේ නාන මංකඩක් පිහිටා තිබෙනවා. අඩි කිහිපයක් පහළට බැස්සහම විශාල ජල කඳ හමුවෙනවා.
පසුගිය 25 වනදා සවස ඇය රෙදි සෝදා දිය නෑමටයි එහි ගොස් තිබෙන්නේ 4.45ට පමණ පුතාට අක්කා කෑ ගසන හඬ ඇසී තිබෙනවා. 
ඔහු ඒ පැත්තට දිව යද්දී අක්කා විශාල කුඹුක් ගහේ මුලක එල්ලී කිඹුලෙකුගෙන් බේරෙන්න උත්සාහ දරන අයුරු පුතා දැක තිබෙනවා. අම්මේ හයියෙන් මුල අල්ලාගෙන ඉන්න අතාරින්න එපා යැයි කියමින් ඔහු වතුරට පැන තිබෙනවා.
කිඹුලාගේ ප්‍රහාරයට ලක් වී බරපතළ තුවාල ලබා දැඩි වේදනාවෙන් සිටි අක්කා පුතාට කියලා තිබෙනවා කිඹුලාගේ බඩ යටින් කිති කවන්න කියා. පුතා වතුරට බැහැලා අඩි 15ක් පමණ දිග කිඹුලාට කිති කවා තිබෙනවා. නමුත් කිඹුලා අක්කාගේ පාදය අතහැර නැහැ...
අක්කාව කිඹුලාගෙන් බේරා ගැනීම අත්නොහළ පුතා කිඹුලාව හොඳින් බඳාගෙන කකුල් පටලවා ගැටයක් දමාගෙන කිඹුලාගේ කට අත්දෙකෙන් ඇද විවෘත කර තිබෙනවා. කට හොඳින් උඩට ඇදි අවස්ථාවේ කිඹුලාගේ කට අගුලු වැටී තිබෙනවා.
ඉන්පසු පුතා අක්කාව කරේ තියාගෙන ගොඩට අරගෙන ඇවිල්ලා. නමුත් අක්කාගේ පාදයේ මස් ගැලවී අස්ථි මතුවී තිබෙන අයුරු දැක පුතා කෑ ගසා සිහිසුන් වී තිබෙනවා. 
ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුට එය ඇසී ඒ දෙසට පැමිණ තුවාල ලබා සිටි අක්කාව කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා. කිඹුලා සමග ‍පොර බැදූ පුතාගේ දකුණු අතේ එක් ඇඟිල්ලකට පමණක් සුළු තුවාල සිදුවී තිබෙනවා. අද කා‍ලේ දරුවෝ එක්ක ගත්තහම පුතා කරපු වීර වික්‍රමය අදහා ගන්නවත් බැහැ” යැයි ද වැඩිදුරටත් පැවැසුවාය.
ඡායාරූප සටහන - අනුරාධපුර බුද්ධික මහේෂ් විජේසූරිය

No comments:

Post a Comment

Popular Posts